The-court-rules-that-the-liar-Avaloketishwara-is-mentally-ill

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙන්නකු බව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට කළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින්, ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද දැනුම්දීමට රහස් පොලිසියට ඉකුත් (7) නියම කළේය. පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තා අධිකරණයට ඉදිරිපත් විය.



පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා, අධිකරණ නියෝග අනුව සැකකරු පරීක්ෂා කළ විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායම සැකකරුගේ මානසික තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට එවා ඇතැයි දැනුම් දුන්නේය. සැකකාර මහින්ද කොඩිතුවක්කු නමැත්තා හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙන බවත්, එම රෝගය සඳහා අඛණ්ඩව ඔහුට ප්‍රතිකාර ලබා දිය යුතු බවට නිර්දේශ කර ඇති බවත් දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, හීනෝන්මාදය නමැති මානසික රෝගී තත්වයෙන් පෙළෙමින් සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු කළ ප්‍රකාශය අනෙක් පුද්ගලයන් විසින් අවභාවිත කර ඇතැයි වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින්, මානසික රෝගී තත්වයකින් පෙළෙමින් සිටියදී මෙම සිද්ධියට පාදක වූ ක්‍රියාව කර ති හෙයින්, ඔහු මෙම නඩුවෙන් මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන ජුනි 19 වැනිදා සැකකරු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්දීමට රහස් පොලිසියට නියම කළේය.
මනෝප්‍රිය ගුණසේකර